අපගේ දැක්ම
අපගේ සේවාලාභීන්ට වඩාත්ම ඵලදායි හා ගුණාත්මක රාජ්‍යය සේවාවක් ලබාදෙන ශ්‍රී ලංකාවේ ආදර්ශමත්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් බවට පත්වීම
අපගේ මෙහෙවර
රාජ්‍යය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යයක්ෂම තිරසාර සැලසුම් ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම
|
හැදින්වීම හා පිහිටීම
|
| මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මාතලේ නගරය කේන්ද්‍ර කොට පිහිටා ඇත. මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මාතලේ මැතිවරණ කොට්ඨාශයට අයත් වන අතර නැගෙනහිරින් රත්තොට හා අඹන්ගග ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන් ද උතුරින් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන් ද බටහිරින් යටවත්ත හා පල්ලෙපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන් ද දකුණින් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන් ද මායිම් වේ. මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වර්ග කි. මී. 71 ක් පමණ විශාල වන අතර මහනුවර නගරයේ සිට කි. මී. 27 ක් පමණ උතුරින් පිහිටා ඇත. |
| පරිපාලන කොට්ඨාශය |
| 1985 වර්ෂය දක්වා අද මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වශයෙන් හැදින්වෙන පරිපාලන කොට්ඨාශ දෙකම එකම පරිපාලන ඒකකයක් ලෙස මාතලේ උප දිසාපති කොට්ඨාශය නමින් හැදින්වුණි. නමුත් 1985 වර්ෂයේ මාතලේ ප්‍රාදේශිය උප දිසාපති කොට්ඨාශයේ බටහිර කොටස යටවත්ත නමින් වෙනම පරිපාලන ඒකකයක් වශයෙන් වෙන් කෙරිණි. එසේම දකුණු දෙසින් පිහිටි ග්‍රාම නිලධාරි වසම් 06 ක් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට එක් කරන ලදී. ඒ අනුව ග්‍රාම නිලධාරි වසම් 19 න් සමන්විත වූ මාතලේ කොට්ඨාශය 1989 දි ග්‍රාම නිලධාරි වසම් වෙන් කිරීම අනුව වසම් 52 ක් බවට පත්ව ඇත. මෙම වසම් තුල පවත්නා මුලු ගම් ගණන 224 කි. මෙම ගම් තුල ජීවත්වන පවුල් ගණන 17920 ක් වන අතර මුලු ජනගහනය 79625 කි. |
| ෙඵතිහාසික පසුබිම |
| මාතලේ ඵෙතිහාසික අතින් ඉතාමත් වැදගත් වන්නේ වලගම්බා රජුගේ කාලයේදී (ක්‍රි.පූ 89-77) මාතලේ අලුවිහාරයේදි ත්රිපිටකධර්මය ග්රන්ථාරූඩ කිරීමයි. මේ අනුව ක්‍රි.පූ. සියවස් වලදී සිටම මාතලේ ජනාවාස පැවති බවට ස්ථිර සාධක ඇත. මහාතිල යන්න මාතලේට භාවිතා වූ පුරාණතම නාමයයි. මාතලේ නම ඇතිවීම පිළිබදව ජනප්‍රවාද කිහිපයකි. විශාල තැනිතලා ප්‍රදේශය යන අරුතින් මහා තල යන්න භාවිතා විය. එය ක්‍රමක් ක්‍රමයෙන් මාතලේ යන්නට පරිවර්තනය වූ බවට ජනප්රවාදයකි. මිට අමතරව ගජබා රජු සොලී රටෙන් ගෙන ආ දොලොස්දාහක් පමණ සිරකාර පිරිසෙන් විශෘලතම කණ්ඩායම මාතලේ නතර කල බවත් මහා පිරිස හෙවත් තලය යන්න අර්තයෙන් මහා තලය යන නම භාවිතා වූ බවත් ජනප්රවාදයේ පවතී. 1848 දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව පැන නැගුණු කැරෑල්ලේ මූලස්ථානය වූයේ මාතලේ ප්රදේශයයි. මාතලේ කැරෑල්ල නමින් මෙය හදුන්වන්නේ ඒ නිසාය. මෙයද මාතලේ ඵෙතිහාසික අතින් වැදගත් වීමට හේතුවක් විය. |
| භූගෝලීය පිහිටීම හා භූ විෂමතාවය |
| මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මාතලේ දිස්ත්‍රික්කයේ දකුණු දිග සිට උතුරට බෑවුම් සහිතව පටියක් මෙන් පිහිටා ඇත. ප්‍රදේශයේ සාමාන්‍ය උස මුහුදු මට්ටමෙන් මීටර් 500 සිට 1200 දක්වා වේ. වැඩිම උන්නතාංශයක් දක්වන කචුවැටි ප්‍රදේශයේ නිරිත දිග සහ බටහිර දෙසින් පිහිටා ඇත. ඇතිපොල කන්ද (විල්ෂයාර්) අස්ගිරි කන්ද මකුලුස්ස කදු මෙහි ප්‍රධාන කදු මුදුන් වෙයි. මෙය මාතලේ ප්‍රදේශයට ඉතාමත් ප්‍රපාතාකාර ලෙස බෑවුම් වන අතර කදු වලල්ල තිරශ්චිතාවයක් ලෙස හදුන්වා දිය හැක. මාතලේ නගර මධ්‍යයේ සිට බලන විට මෙම භූ දර්ශනය පහසුවෙන් දැක ගත හැකිය. |
| ජල ප්‍රවාහනය, දේශගුණය, උෂ්ණත්වය |
| ප්‍රධාන වශයෙන් උතුරු දිසාවට බෑවුම් වන මෙම ප්‍රදේශයේ නැගෙනහිර මායිමේ දකුණේ සිට උතුරට අඹන්ගගේ අතු ගංගාවක් වන සුදු ගඟ ගලා බසී. වෙනත් විශාල ජල මාර්ග නැති අතර බටහිර කදු මුදුන් වලින් පටන් ගන්නා දිය පාරවල් කිහිපයක් සුදු ගඟට එක්වෙ. මෙම දිය පාරවල් ශාඛීය ජල වහන රටාවක් පෙන්නුම් කරයි. උකුවෙල බලාගාරයෙන් නිකුත් වන මහවැලි ජලය මෙම සුදු ගඟ ඔස්සේ ගලා ගොස් අඹන්ගඟට එක්වේ. මෙම ප්‍රදේශය තුල කුඩා ජල පාරවල් පුයෝජනයට ගෙන අමුණු 55 ක් පමණ පිහිටා ඇත. මෙම අමුණු වලින් වැඩි ප්‍රමාණයක් ජලය සපයන්නේ අක්කර 20 – 30 වැනි සුළු ප්රමාණයන්ටය. දිවයිනේ මධ්‍යම කදුකරය හා උතුරු දිග තැනිතලාව අතර පිහිටා ඇති අන්තර් ප්‍රදේශයක් හෙයින් මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දකුණු දිග ප්‍රදේශයට වර්ෂයේ සෑම කාලයේම සමාන වර්ෂාපතනයක් ලැබේ. මාර්තු අග භාගය අප්‍රේල් මැයි ජුනි යන මාසවල සහ ඔක්තෝබර් නොවැම්බර් යන මාසවල වැඩි වර්ෂාපතනයක් ලැබේ. සාමාන්‍ය වර්ෂාපතනය මිලි ලීටර් 110 ක් පමණ වේ. උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් වන අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ක් පමණ වේ. |












